Wednesday, January 21, 2015

උඹ කව්ද මගේ










සිතඟ ඔතරම් දුක දරන්නට
                                 කොහෙන්දෝ හුරු උනේ...
මතක කිසිවක් කියන් නෑ මට
                                 පියා මගෙ කොයි ගියේ...
දෙතන බර වී නෑ තවම උඹ
                                 නාම්බං මැදි වියේ...
හමන කට කිරි සුවඳ රැඳි උඹ
                                කෙළෙස මට මව් උනේ...


හිච්චි සංදියේ ඉඳන් නුඹමයි
                                මට ළොවම පෙන්නුවේ...
වච්චි කියලා දුවන ළමයින්
                                මොකද අපි කොන් කළේ...
බච්චි කෙල්ළලු ගමම අපුලයි
                                කිමද ඒ කාරණේ...
නිච්චි නැතුවද පහදපන් මට
                                මෙහෙම ඇයි අපි දුකේ...


මව් මරා ඉපදුන එකා මං
                                කියා හංවඩු උනේ...
පව් මගේ බර හේදුවලු උඹ
                                වට පිටෙන් මට ඇසේ...
ඉව් බතට ලුණු උඹෙ කඳුළු වග
                                කුණු රසෙන් මට දැනේ...
දැව් වෙනා මේ හදෙ කටු තුඩ
                                ගලවපන් දැන් මගේ...


හ්ම්ම්..


හොඳට හිනැහී කපටි පිළිතුරු
                                අදත් මුව රැන්ඳුවේ...
සිතට බොරු කර කදුළු හංගා
                                මටද ඔය හිනැහුනේ...
සතුට විතරයි කිසිවිටෙක දුක්
                                නැත උඹෙන් දිස් උනේ...
ලඟට අරගන මා සිඹිනකොට
                                හද සොයුරු පෙම දැනේ...

No comments:

Post a Comment

තවත් දෑ....