Thursday, February 26, 2015

ආයෙත් මට මගෙ අයියා වෙයන්






දොල ගාව තොටට බැස නාන කලට මට
තනිය රකින්නෙ කව්ද ගොඩේන්
වෙල පහල කනටියට බැහැල සෙල්ලමට
මා එලවන්නේ කව්ද මඩේන්
හැමදාම රසට ගුලි අනා කවා මට
රැල්ල මකන්නේ කව්ද බඩේන්
පඩි දාට හවස තල බෝල හවරි කටු
අරං දෙන්නෙ මට කව්ද කඩෙන්


ඉඳලෝලු අතට රස හිඹුටු දමුන ඇට
නෙලා ගෙනෙන්නේ කව්ද කැලේන්
මග මාළු ඇලට බැස අල්ලා සරම් පොට
ලිහා යවන්නේ කව්ද දැලේන්
කර පාලු කමට රතු ඕලු මලෙන් මට
මාල බඳින්නේ කව්ද ඉතින්
මගෙ පාළු හිතට ඒ මතක කඳුළු කැට
මකා හිනා ගෙන එන්න සැනින්


එල්ලා වැටුනත් මං වගේම කර පිට
අඩුව මැකෙනවද පාත්තරෙන්
නැගුනත් මුවගට දුටුවාම සිනා කැට
රෑට අඬනවා මං හීනෙන්
ගුඩු පැන දුව යන්නට බෑ ඔය සිවුරට
සරමෙන් ආපිට ගෙදර වරෙන්
කැමතිම නම් ඔය හැටි නුඹ සිල් සුවඳට
හවස වෙහෙර එමු පහන් සිතින්




Friday, February 20, 2015

හුඟාක් පින් මයේ අම්මේ..









ලෝබ නැතුව රසට පොවා නුඹ මට කිරි.......බිංදු..................බිංදූ
විඳගෙන කරදර බාදක මට සුර සැප........කැන්දු................කැන්දූ

දිවි මග දී පෙන්නා මට කඳු පළ්ලම්.............වංගු.................වංගූ
මගේ වැරදි පෙන්නා දී කර ආදර...............රන්ඩු................රන්ඩූ

සඟවාගෙන කඳුලු බිංදු සිනහව මුව..........රැන්දු.................රැන්දූ
නුබ ගැන අමුණා කියන්න නෑ මට කවි........සිංදු..................සිංදූ

සලකන්නම් අද මං හැකි පමණට දී............හාදු..................හාදූ
බුදු සරණයි මගේ අම්මට වදිනෙමි පා.........සාදු...................සාදු









බුදු සරණයි අම්මේ...

Monday, February 9, 2015

පැණි හඳ




https://www.facebook.com/photo.php?fbid=361780250673290&set=a.261191850732131.1073741833.100005239542747&type=1&theater




රමණ පහසට බය මනාළිය
වෙලා නුඹ අද මහද කුටියට….
කරණ කෝලම එබීගෙන මට
පෙන්වමින් හිරි වලාකුළු යට….


එළිය සැර වැඩි නිසා දෝ ඔය

සැඟව ඔමරිය කළු වලා යට….
දිස්නෙ ලන නුඹෙ සිනිඳු සළු පිළි
බැරිද මදකට නිවා ලන්නට….


වෙනද අඳුරෙදි පෙන්නුවේ ගත

අඩක් පමනයි වලා සළු යට….
ඉතින් අවසර පුර හඳක් වෙනු
බිඳලමින් හිරි මගෙම දිවියට….


කිමද මෙතරම් කඳුළු දෑසඟ

පුර හඳනි නුඹ මගේ ලෝකෙට….
බිලි කළද සොමි සිසිල දහවල
උනුහුමක් ලැද හිරු කුමරු හට…


හ්ම්..

දුක් නොවනු මැන ඉතින් සඳවත
නැවුම් සැමදා නුඹෙ පහස මට…
රකිමි පණ මෙන් සදා නුඹ මම
රැඳෙනු ලඟ පුර සඳක් විලසට….


ඒත්….

අවැසි නම් පෙර හිරුගෙ උනුහුම
වඩිනු ආපසු නුඹේ අහසට….
මගේ නාමෙන් තාරුකාවක්
දිළෙයි රැයකදි වාසනාවට…


එතෙක් ඉමි ගං තෙරට වී………
තනිව ඔරුවේ පා වෙවී………..
කුමට දෝ අමනාප වී…..…….
හැඟුමකට සිත වහල් වී……….



Sunday, February 8, 2015

පමා වැඩිද සුමානයක්?














යොමා හිඳිමි නෙත් දියඹට

පමා මොකද රෑට බතට

හමා ඇදෙන සුළං සැරට

සුමානයක් උනා අදට



තනියි නැතිව නුඹව හිතට

කඩා වැටෙයි කඳුළු දුකට

දැනෙයි මගෙත් අඩුව නුඹට

දිගා වෙයන් ඔරුවෙ කඳට



අගේ වද්ද තෝරු අපට

එපා ගෙනෙං කූරි පතට

නමා දැලත් හතර පහට

අනේ වරෙන් අයේ වැල්ලට



හ්ම්..

කුණාටුවත් සැරයි තදට

පමා වැඩියි නුඹ වෙනදට

ගියා වත්ද නුඹ වතුරට

වැසී යයිද මං වැල්ලට



සමාවෙයන්

සොයා හුඟක් කාසි අපට

ගියා ටිකක් දියඹෙ දුරට

වැටී මොකද පැල අඳුරට

නගා නැතිද මගේ ලඟට




හ්ම්..

කූරි අරන් මං එනකොට

මගුල් කන්ට මේ වැල්ලට

කාසි හොයන් උඹෙ තැල්ලට

වේසි වෙලා මයෙ ආලෙට










තවත් දෑ....