Wednesday, March 4, 2015

හනික වරෙං










අත්තෙ ගිරව් කර මාල ලිහනවා
පැත්තෙ පුංචි තටු බිමට දමනවා

වත්තෙ දොඩං ගෙඩි ඉස්ම හලනවා
නැත්තෙ මොකෝ උඹ මගෙන් අහනවා

කොට්ටෙ පුළුං ගුලි කඳුලු උරනවා
මෙට්ටෙ එපා මං අකුරු කරනවා
හැට්ටෙ උඹේ වැල කොන ගුලිවෙනවා
නැට්ටෙ හූනු පණ තාම ගැහෙනවා


වැස්සෙ තෙමෙද්දිත් හිත රත් වෙනවා
කැස්සෙ බෙහෙත් මට දුරයි දැනෙනවා
විස්සෙ කඩල ගොටු ලොකුයි හිතෙනවා
මැස්සෙ ඉඳන් මං අමු අඹ කනවා


කැන්දෙ හැලප රහ රොටියෙ දැනෙනවා
හැන්දෙ මිටත් උඹෙ සුවඳ හොයනවා
බැද්දෙ හිඹුටු අතු අස්සේ පැහෙනවා
ලන්දෙ ඉකිරි කටු සැරට ඇනෙනවා


දැක්කෙ නැතත් මං උඹට වඳිනවා
වික්කෙ උඹව ඇයි හිත වද දෙනවා
ඔක්කෙ උඹෙ අයේ ඉන්ට හිතෙනවා
අක්කෙ වරෙං මට පාළු දැනෙනවා


වැල්ලෙ සැරට ඔය පය පිච්චේදෝ
අල්ලෙ මැදට කරගැට මතු වේදෝ
රැල්ලෙ එහා රට උඹ තනි වේදෝ
තැල්ලෙ සිරිය බාබට බිලි වේදෝ




No comments:

Post a Comment

තවත් දෑ....