Friday, March 6, 2015

බණ මල්










මලක් නොදුටු මල් වට්ටි පෝලිමම
මුනිං අතට ඇත බිම වැටිලා.......
දනක් පිදුවහම හඬදෙන ඝන්ඨව
ඔහේ එල්ලිලා බිම හැරිලා.......
කෙනෙක් කාලෙකින් නොආපු ගානයි
චෛත්‍යෙ වට තණකොළ වැවිලා.......
දුකක් ආව දැක්කම උඩ මළුවම
අඹකොළ බෝ කොළ පරදවලා.......


පසක් කරල දී අනිත්‍ය පාඩම
ගමේ හැමෝටම බණ කියලා.......
මසක් ගතවුනා කාටත් නොදැනිම
ලොකු අවසර නිවනට වැඩලා.......
මතක් කරල තුන් මස හෙට දවසම
පන්සලෙ පින්කම් පෙළ ගැහිලා.......
වගක් නැතුව වාගෙයි එය පොඩි නම
විහාරෙවත් නෑ තව ඇරලා.......


යමක් ඇහෙනවා ආවාසේ තුල
සිනා මුකුළු අතරින් නැගිලා.......
සැකක් ආ නිසා හැර දැන ගන්නට
බැලුවා ජනේලයෙන් එබිලා.......
රුවක් ගැහැණු තිර මත චැට් එකටම
පොඩි නම අඳනෙට බස්සවලා.......
බණක් කියනවද මලක් කඩනවද
තාක්ෂනෙත් අද දියුණු වෙලා.......


විසි කරපු කවි කටු




පීදෙන කොටයි රඹකැන් ගහ ඇල -------------- වෙන්නේ
ඉගිලෙන කොටයි නක සුද එළියට --------------- එන්නේ
වේලෙන කොටයි බිම් පස් ගුලි හයි -------------- වන්නේ
වරදින කොටයි කාගෙත් මොළ පෑ ------------- දෙන්නේ

Wednesday, March 4, 2015

හනික වරෙං










අත්තෙ ගිරව් කර මාල ලිහනවා
පැත්තෙ පුංචි තටු බිමට දමනවා

වත්තෙ දොඩං ගෙඩි ඉස්ම හලනවා
නැත්තෙ මොකෝ උඹ මගෙන් අහනවා

කොට්ටෙ පුළුං ගුලි කඳුලු උරනවා
මෙට්ටෙ එපා මං අකුරු කරනවා
හැට්ටෙ උඹේ වැල කොන ගුලිවෙනවා
නැට්ටෙ හූනු පණ තාම ගැහෙනවා


වැස්සෙ තෙමෙද්දිත් හිත රත් වෙනවා
කැස්සෙ බෙහෙත් මට දුරයි දැනෙනවා
විස්සෙ කඩල ගොටු ලොකුයි හිතෙනවා
මැස්සෙ ඉඳන් මං අමු අඹ කනවා


කැන්දෙ හැලප රහ රොටියෙ දැනෙනවා
හැන්දෙ මිටත් උඹෙ සුවඳ හොයනවා
බැද්දෙ හිඹුටු අතු අස්සේ පැහෙනවා
ලන්දෙ ඉකිරි කටු සැරට ඇනෙනවා


දැක්කෙ නැතත් මං උඹට වඳිනවා
වික්කෙ උඹව ඇයි හිත වද දෙනවා
ඔක්කෙ උඹෙ අයේ ඉන්ට හිතෙනවා
අක්කෙ වරෙං මට පාළු දැනෙනවා


වැල්ලෙ සැරට ඔය පය පිච්චේදෝ
අල්ලෙ මැදට කරගැට මතු වේදෝ
රැල්ලෙ එහා රට උඹ තනි වේදෝ
තැල්ලෙ සිරිය බාබට බිලි වේදෝ




තවත් දෑ....